අරමුණක්, ගමනක් හෝ ඉලක්කයක් නැති මිනිසුන් ‌සමුහයකගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව ගමන් ගත් මාර්ගය වර්තමානය වන විට දරුණුතම ආගාධයකට වැටි ඇති බව ‌සියලු දෙනාට පැහැදිලි ය. ශ්‍රී ලංකාවට නිදහස ලැබීම මෙන්ම සර්වජන ඡන්ද බලය ලැබීමත් සමඟ ජනතාවට ලැබුණු පාලන බලය, භාවිත කිරීමේ නිසි අවබෝධයක් ජනතාව සතු නොවීම මෙයට ප්‍රධානතම හේතුවයි. සාක්ෂරතාව ඉහළ මට්ටමක පැවැතිය ද දේශපාලනික අවබෝධය ඉතා පහළ මට්ටමක පැවැතීම මෙන්ම තමාගෙන් ඔබ්බට වූ සමාජයක දියුණුව අපෙක්ෂා නොකිරීම ද අර්බුදයේ මූල බීජ බවට පත්ව ඇත. එය වඩාත් පැහැදිලි වනුයේ අනෙකාට කුමක් වුව තමාගේ වාහනයට ‌තෙල් ටික ලැබේ නම්, අනෙකාට කුමක් වුව තමාට ගෑස් ටික ලැබේ නම් ආදි වශයෙන් එවැනි ග්‍රාම්‍ය දෙයකින් තුටු වීමට බහුතර ජනතාව පෙළඹීමෙනි. පොදු සම්පත් බෙදියාමේ විෂමතාව නොදියුණු සමාජයක ලක්ෂණයකි. එනිසාම කුමන හෝ බලයක් භාවිත කර සම්පත් රැස්කර ගැනීම බහුතර සමාජයක අයිතිවාසිකම්වවලට ගරු නොකරන කුහක පෙළිවෙතකි. 

    පවතින ක්‍රමවේදය වෙනස් කිරීමට වෙර දරන සමාජයක ද දැකිය හැකි වන්නේ සාම්ප්‍රදායික ගෝත්‍රික චර්යාවන්ම නම් ඒ අන්ධයෝ පිරිසක් පසුපස ගමන් කරන නව මන්දබුද්ධික රැලකි. 

    ලංකා දේශපාලන ඉතිහාසය තුළ මේ දක්වා බලය ලබාගැනීමේ අරමුණින් කුමන හෝ ක්‍රමවේදයන් අනුගමනය කරමින් බලය ලබා ගැනීම සාමාන්‍ය ක්‍රමවේදය වී ඇත. සියලු දේට සදාචාරය ඇතත් ලංකා දේශපාලනයට සාදාචාරවත් බවක් පවතින බවක් නම් එහි ස්වරූපයෙන් දක්නට නැත. ඒ නිසාම ජනවරම කුමක් වුව තම පන්තියේ හෝ පවුලේ අවශ්‍යතා සපුරා ගැනීම වෙනුවෙන් අදාළ කාල සීමාව දිවා රැ ‌නොබලාම කටයුතු කරයි. ප්‍රතිපත්ති හෝ නීතිරීති දේශපාලන ව්‍යූහය තුළ ශක්තිමත් නොවන්නේ මෙවැනි පටු මානසිකත්වයක් සහිත දේශපාලනයක් නිසාවෙනි. 
        පවතින අධ්‍යාපන ක්‍රමවේදය ද ඊටම සරිලන ආකාරයේ කුහක රැලක් නිර්මාණය කිරීම අරමුණු කොටගෙන සකස් වී ඇත. දොර අගුල් දමාාගෙන හෝ අනෙකාට හොරා පාඩම් කර විභාග පාස් වී මුල් පුටුවලට යති. එහෙත් ප්‍රායෝගික සමාජයක ගතයුතු තීන්දු තීරණ නිසිපරිදි ගැනීම වෙනුවට තැබැරුම් අධිපතිවරුන් නොහොත් මැති ඇමතිවරුන්ට කසේරුකාව පාත් කරන් තම ආරක්ෂාව සලසාගෙන පවුලේ දියුණුව උදේසා කටයුතු කරති. යම් විටෙක කසේරුකාව සෘජු චරිතයක් වුවහොත් ඔහුට එම තනතුරින් ඉවත් වීමට සිදුවනුයේ අසාවත් නැති හේතුවක් පදනම් කරගෙනයි. 
       දැන හෝ නොදැන ජාන ගතව ඇති හොරකම නිසා කාර්ය කර මහන්සියෙන් දේපළ උපයනවාට වඩා කුමන හෝ කපටි සහා වංචනික ක්‍රමවලින් ඉපයීම ‌සාමාන්‍ය ක්‍රමවේදය වන අතරම ව්‍යාපාරික ලෝකය ගුණාත්මක හෝ හරයාත්මක දේ වෙනුවට කුමන හෝ වංචනික ක්‍රමවේදයන් තුළ කුමක් හෝ අලෙවි කොට ඉපයීම සිදු කරයි. නීතින් තුළ පවතින සිදුරු මතින් හැකියාව මත නීතිය ද අධර්මිෂ්ඨ මිනිසුන්ගේ සුඛවිහරණය සඳහාම වූ ආවරණයක් ලෙස සෙත සැලසීම වෙනුවෙන් භාවිත වේ. තමාට ලැබෙන පටු ලාභය මත පිහිටා ප්‍රතිපත්ති හෝ ධර්මතාවන් පෝෂණයෙන් ඔබ්බට ගොස් ලාභ ප්‍රයෝජන මත පිහිටා ආගම දහම සුරකින පිරිස ද හොර ගෙවල්වල මුරකරුවන්ව ඇත. 
       මෙලෙසින් ගලාගෙන ආ සමාජයක් විනාශවීම, පිරිහීම හො පිපිරීම අරුමයක් නොවේ. විවේචන, විචාර අවශ්‍යව ඇත. එය පුද්ගලිකත්වය වෙනස් කරගැනීම වෙනුමෙන් මූලිකවම භාවිත කරන්නේ නම් එය සමස්ත සමාජය ම වෙනස් කරගැනීමේ මාවතක ගමන් කරවිය හැකි ආරම්භයක් වනු ඇත.
    බලය ලබා ගැනීම වෙනුවෙන් අරගල, තරඟ කල ද බලය ලබාගන්නේ කුමක් සඳහා ද යන්න ඔහුන් හෝ නොදනිති. එනිසාම කළ හැකි දේ හෝ කළ නොහැකි දේ පිළිබඳව අනවබෝධයෙන් පොරොන්දු රාසියක් සමාජ ගත කොට වංචනිකව බලයට පැමිණෙයි. ඉන් පසුව පුද්ගලික සංවර්ධනය සඳහා අවශ්‍ය සැලසුම් සිදු කරයි. 
       ගෙදරක් වුවත් ණයක් ලබා ගනුයේ ගෙවිමේ ශක්‍යතාව සහ ප්‍රමුඛතාව පිළිබඳව මනා අවබෝධයකින් විය යුතුය. නැතිනම් එය පවුලේ සාමාන්‍ය පැවැත්මට මහත් බලපෑමක් වනු ඇත. රටක් ‌වශයෙන් ණය ලබා ගැනීම අතිශය අවබෝධයකින් කළ යුත්තකි. ගෙවිමට ක්‍රමවේදයක් නොහැකි නම්, ණය ගැනීම ඵලදායි ‌නොවේ. ණය ලබා ගන්නේ නම් යම් ආයෝජනයක් සඳහා විය යුතුය. එහෙත් පුද්ගලික සංවර්ධනය අරමුණු කරන ලංකා දේශපාලකයින් ණය ලබාගෙන ඇත්තේ නිශ්පාදන ආර්ථිකයක් ගොඩනැගීම සඳහා නොව විශාල ප්‍රමාණයේ ව්‍යාපෘති සිදු කරමින් විශාල ලෙස කොමිෂ් ලබාගෙන පුද්ගලික දියුණුව ඉක්මන් කරගැනීම සඳහා වේ. තවද තම බලය තහවුරු කරගැනීම සඳහා සමෘද්ධිය, පිංපඩිය ආදි සුභසාදනය සඳහා ද එවැනි මුදල් යොදවන්නට ඇත. එහෙත් භූමියේ සමෘද්ධිය නිසා සමෘද්ධියට පත්වූවකු සිටීද? එය දේශපාලකයාගේම තැබෑරුමට ලැබෙන,  භාණ්ඩාගාරයෙන් වාර්ෂිකව වෙන් කරගන්නා මුදලක් වශයෙන් නිරීක්ෂණය වේ. 
       පවතින ක්‍රමවේදය තුළ දේශපාලකයා මෙන්ම ඉහළ පුටුවේ සිට කම්කරුවා දක්වා (බහුතරය) සොකම සහ දූෂණයට හුරු වූ සහ එයින්ම යැපෙන පිරිසක් බවට පත්ව ඇැත. සියලු දේශපාලන පක්ෂ පෙරුටු කොටගත් ඉහළ අධ්‍යාපනයක් ලැබූ ආචාර්ය, මහාචාර්ය වරු ද ඇත. ඔහුන්ගේ උපදෙස් ‌ලැබෙනු ඇත. එහෙත් භූමියේ ස්වරූපය එලෙසම නම් සිදුවන්නේ එකම දේ මිස අනෙකක් නොවන බව පැහැදිලිය. 
        පුළුල් වශයෙන් සොරකම දූෂණය ප්‍රතික්ෂේපිත පාලන ක්‍රමවේදයක් පැවතීම අත්‍යවශ්‍ය වේ. එමෙන් ම ස්වයං විවේචනයක් සහිතව මා, ඔබ ළඟ සිටින වංචනික, සොරා පලවා හැරීම ද කළ යුතුම වේ. එවැනි පරිවර්තනයකින් මිය බාහිර පාර්ශ්වයකට තම ලෝකය සුන්දර කළ නොහැකිද? සමුහයක් ගොඩ නගන දේ බහිරවයෝ අතුරුදහන් කරද්දි සංවර්ධනයක් සිදු නොවේ. අද සිටින බහිරවයා නැති වූ දාට තවත් බහිරවයෙන්රු ඒ තැන ලබගන්නේ නම් බහිරවයින් තනන සමාජය සුවපත් කළ යුතු නොවේද? 
        අනෙකාට ගු කරන, ශිෂ්ඨත්වය තුළ ගමන් කරන සත්පරුෂයන් බවට අපි හැමෝම සංවර්ධනය විය යුතුව ඇත. අලුත් අදහස්, ආකල්ප සේවිය යුතුය, ඉදිරිපත් කළ යුතුය. සුන්දර, හරවත් දේ අගය කළ යුතුය. ඒ වටා එකතු විය යුතුය. කොහේ, කොතැනක වුව සුන්දරව ජීවත් විය හැකි පරිසරයක් ගොඩ නැගිය යුතුය. කුණු හරුප කියන කපුටන් වෙනුවට සුන්දර වචන ගියන ගිරවුන් බිහිවන පරිසරයක් නිර්මාණය කළ යුතුය. එවිට ඔබතුළ ඇති ශක්තීන්, හැකියාවන් ඉස්මතුවනු ඇත. ඔබේ, මගේ ශ්‍රෙෂ්ඨත්වයෙන් ම සමාජ ප්‍රවර්ධනයක් සිදුවනු ඇත. අලුත් අරමුණක්, අලුත් ප්‍රතිපත්තියක් මතින් ආරම්භ කළ හැකිය. මානවත්වයට ගරු කරන, මානව සංවේදනයක් සහිත පිරිසක් ශ්‍රේෂ්ඨත්වයේ තබාගෙන මූලිකව සිදුකර විශිෂ්ඨ සමාජයක් උදේසා මා ද ඔබ ද විශිෂ්ඨයන් වෙමු. මට එය කළ නොහැකි නමුත් අපට එය කළ හැකි ය. 
    හාපත්ගමුවේ පේමරතන හිමි